මෙය ඔබ හොදින් අසා ඇති . නමුත් මෙයින් හැඟෙන්නේ කුමක්ද යන්න ඔබ හොඳින් අවබෝධ කරගෙන ඇත්ද. අප බුදු පියාණන් වහන්සේ මේ පිළිබදව දේශිත ධර්මයෙන් බිඳක් ලබාදීමයි මේ ලිපියේ අරමුණ.
මිත්‍යා දෘෂ්ටිය යනු සරළවම නම් වැරදි දැකීමයි , වැරදි කල්පනාවයි, වැරදි අදහස්ය. කර්ම හා කර්ම ඵල පිළිබදව යථාවබෝධයෙන් තොර වීමයි. බුදුරදුන් ලොව පහළ වූ සමයේ භාරතීය සමාජය තුළ 62 ක් මිත්‍යා දෘෂ්ටික ආගම් හා දර්ශණ පැවති බව සඳහන් වේ . කෙනෙක් යම් වැරදි දෘෂ්ටියක් කෙරෙහි එල්බගෙන ඇත්නම් ඔහු මිත්‍යා දෘෂ්ටියෙන් යුතු වූවෙකි. ප්‍රධාන දෘෂ්ටීන් 7 ක් , ශඩ් ශාස්තෘවරුන් හා ඔවුන්ගේ දර්ශණ වාදයන් පිළිබඳ ව මෙහි සඳහන් කිරීමට අපේක්ශා නොකෙරේ.
බුදු දහමේ ප්‍රධාන මිත්‍යා දෘෂ්ටික සංකල්ප 10ක් පිළිබඳව දේශණා කර ඇත. ඒවා නම් ,
1. දූන්දේ විපාක නැත.
2. මහා දානවල විපාක නැත.
3. වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත.
4. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත.
5. මෙළොවක් නැත.
6. පරළොවක් නැත.
7. මවක් නැත.
8. පියෙක් නැත.
9. ඕපපතිකව උපදින සත්වයෝ නැත.
10. හිත දියුණු කළ , ලෝකය අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණ වරු නැත.
නිර්වාණය සාක්ශාත් නොකළ යම් අයෙක් ඇත්නම් ඔවුන් තුළ මේ කරුණු 10ම හෝ අඩු වැඩි වශයෙන් පවතී. නමුත් බෞද්ධයන් වන අප බොහෝ කරුණු ගැන සැක උපදවා නොගනි. නමුත් මිත්‍යා දෘෂ්ටික අදහස් බහුල අද වැනි සමාජයක ධර්මය යටපත් වෙමින් පවතින යුගයක බොහෝ අය යම් යම් කරුණු පිළිබදව සැක උපදවා ගැනීමට යොමුව තිබෙන්නේ ඔවුන් ධර්මයෙන් ඈත් වී ඇති නිසාවෙන්මය. ධර්මයේ පිළිසරණ ක් නොලබන සත්වයා මිත්‍යා ආකල්ප වලට ඇදී යාම ලෙහෙසියෙන්ම සිදු වන්නකි. සමහරුන් අකුසල කර්ම , පස් පවු කරන්නේ ඒවායේ විපාක මෙන්ම ඒ අනුව පරළොව උපතක සිදු විය නොහැකි බව සිතමිනි. එයින් ඔහු බුදු දහමේ ගැඹුරුම දර්ශණය වන ” පුනර්භවය ” සංකල්පය හෙළා දකී. නමුත් විහිළුවට කරුණ නම් කුසල කර්ම, පිං සිදු කරගතහොත් දිව්‍ය සැප ලබා ගත හැකි බව ඔවුන්ම විශ්වාස කිරීමයි. තමා වැදූ මව හා පියා අමතකව ඇති සමාජයක කටයුතු කරන්නේ තමා ඕපපාතිකව බිහිවූ අයුරිනි. ඔවුන් විශ්වාස කරන දිව්‍ය සමූහයාද ඕපපාතිකව පහළ වන්නන් ය. නමුත් සතර අපායන් පිළිබදව අවිශ්වාස කරන ඔවුන් ප්‍රේත, බූත කොට්ඨාශ වැනි ඕපපාතිකව පහළ වන සත්වයන් නොමැති බවත්, ඒවා හුදු ප්‍රවාද බවත් සිතති. ඒ හුදෙක්ම තමා නොදකින නිසා බව පුහු තර්කද ඉදිරිපත් කිරීමට ඔවුන් හපනුන් ය.
නමුත් තම ලෞකික සමෘද්ධිය සඳහා සහය වන කවරක් හෝ දැක්කද නොදැක්කද අවිවාදයෙන් යුතුව පිළිගනී. තම සිත් සතහන්හි රාග, ද්වේශ, මෝහ දුරු කර ගැනීමට ධර්මය වැඩීම පසෙකළා දෙවියන් , අමනුශය කොටස් අපට නොපෙනෙනේ මන්දැයි යන දෙගිඩියාවෙන් බොහොමයක් දෙනා පසුවෙති. තම සිත් සතන් තුළ පවතින පීඩනය පහ කර ගැනීමට නොයෙක් මාර්ග සොයා ගෙන ඇත්තේද එබැවිනි. මේ සියල්ලම අතරතුර ඔවුන් 10වන කරුණද හුදු ජන ප්‍රවාදයක් බව සිතීමට යොමු වීම , ධර්මය යන්නක් ලොව නොපවතින බව සිතීමට යොමු වීම නම් සිංහල බෞද්ධයන් ලෙස භයානක ඵල විපාක ගෙනදීමට හේතු වනු ඇත. අවසාන වශයෙන් මෙය නම් සඳහන් කළ යුතුමය. ආනන්තරීය පාප කර්ම කළවුන් පවා කල්ප ගාණක් හෝ නිරයන්හි දුක් විඳ ( සතර අපායන් විශ්වාස කලත් නැතත් ) හෝ ඉන් මිදෙන මුත් නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඉහත කාරණා අදහන පුද්ගලයා ගේ සසරේ නියත නවාතැන සතර අපායම පමණක්ම වන බව අප බුදු පියාණන් වහන්සේගේ දේශණාවයි. මිත්‍යාව සිඳ සත්‍යය දැකීමට වීර්යය නොකරන අසරණ සත්වයනට කාගේ නම් පිහිටක්ද……….!!!!!!!!
~ ගෞතම බුදු සසුනේදීම නිර්වාණාවබෝධය පිණිස~